Tuesday, January 16, 2018

දිවියේ සැප සතුට අත්හල මොරටු සරසවියේ උපාධිධාරී තරුණියෝ..!


මොරටුව විශ්ව විද්‍යාලයෙන් විලාසිතා නිර්මාණ කරණය හා නිපැයුම් ප්‍රවර්ධනය පිළිබඳ උපාධිය ලැබූ නව යොවුන් වියේ පසුවන තරුණියන් දෙදෙනෙකු පැවිදි බිමට පිවිස සිටිති. මෙකී තරුණියන් දෙදෙනා මහරගම ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේ නමින් හා අතුරුගිරියේ ධම්ම සුතා මෙහෙණින් වහන්සේ නමින් පැවිදි දිවියට ඇතුළත් ව සිටිති. බද්දේගම ගිණිමැල්ලගහ ආලෝකෝ උදපාදි සිල්මාතා භාවනා ආරාමයේ දී මෙකී මෙහෙණින් වහන්සේලා දෙනම අපට මුණගැසුණි.
එම මෙහෙණින් වහන්සේලා දෙනම සමඟ දැන උගත් මෙහෙණින් වහන්සේලා හය නමක්‌ භාවනායෝගීව මෙකී ආරාමයේ වැඩ වසති. මහරගම ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේගේ ගිහි කාලයේ ස්‌වාමිපුරුෂයාද පැවිදි දිවියට ඇතුළත්ව සිටියි. උන්වහන්සේද ගිහිකළ මොරටුව විශ්ව විද්‍යාලයේ විලාසිතා නිර්මාණ කරණය හා නිපයුම් ප්‍රවර්ධනය පිළිබඳ උපාධිධාරියෙකි.
 
මේ තිදෙනාම ගිහි කළ මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් කම්හලක රැකියාව කොට තිබේ. රැකියාව කරන අවදියේ දී බණ ඇසිමට යොමු වී ධර්ම මාර්ගය ගැන පැහැදී පැවිදි දිවියට පිවිස තිබේ.
අපි දෙන්න කතා කරගෙන තමයි මහණ වෙන්න තීන්දු කළේ. ගිහි කාලයේ මගේ සැමියා මට කලින් මහණ වුණා. ඔහු මහණ වුණේ මගේ මහණ පිංකමට අවශ්‍ය සියලු දේවල් කරලා. උන්වහන්සේගේ මහණ පිංකමට මමත් සහභාගි වුණා. ඒ වේලාවේ මට හිතුණේ අනේ සාදු කියලා. අපි කොහෙද ඉන්නේ. මේ ඉන්න අපිට මොනවා දාලා යන්න බැරිවද ඉන්නේ කියලා හිතුණා. ඇත්තටම අත්හරින්න බැරි දෙයක්‌ නැහැ. මගේ මහණ පිංකමට උන්වහන්සේත් සහභාගි වුණා.
තලගුනේ මෙත්තා ධම්මශීලි මෙහෙණින් වහන්සේ තමයි මාව මහණ කළේ. මේ වන විට මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබු හය දෙනෙක්‌ පැවිදි වෙලා ඉන්නවා. ඒ අය අතර වෛද්‍යවරු, ඉංජිනේරුවන්ද ඉන්නවා යෑයි මහරගම ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේ අප සමග කිහ. ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේ තිස්‌ එක්‌ හැවිරිදි වියේ පසුවෙති.
අතුරුගිරියේ ධම්ම සුජාතා මෙහෙණින් වහන්සේ ගිහි කළ අකුරු කොට ඇත්තේ කොළඹ මියුසියස්‌ විද්‍යාලයෙනි. උසස්‌ පෙළ සමත් විමෙන් පසු මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළු වි උපාධිය ලබා ගෙන ඇත.
 
මගේ තාත්තා ඉංජිනේරුවරයෙක්‌. අම්මා විධායක නිලධාරිනියක්‌ බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තු විට ඕනෑම දෙයක්‌ අත් හරින්න පුළුවන්. ඉන්පසු මහණ වෙන්න තීන්දු කළා. මෙහෙණින් වහන්සේලාට වනගතව ආරණ්‍යගතව භාවනා කටයුතු කරන්න බැහැ. ආරක්‌ෂක තැනක ඉන්න ඕන. කර්කශක නාගරික පරිසරයෙන් මිදිලා භාවනා කරන්න පුළුවන් ස්‌ථානයක්‌ හදලා දෙන්න මාලනි දොඩංගොඩ යුවළගේ අරමුණක්‌ තිබුණා එය අපගේත් අවශ්‍යතාවයක්‌.
ත්‍රිපිටකය හදාරමින් භාවනා කටයුතු කරන්න ගිහි පිරිසට අප හදාරණ දේවල්වලින් මග පෙන්වීමක්‌ කරන්න. කොහොමද ධර්ම මාර්ගයේ යන්නේ ජීවිතය කොහොමද ධර්ම මාර්ගය අනුව හැඩ ගස්‌වා ගන්නේ. මේ දහම් කරුණු ගැන ගිහි පිරිස දැනුවත් කරන්න අප සුදානම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපට තියෙන්නේ පොත්වල තබා ගන්න නෙවෙයි. ඒවා කියලා දෙන්න මෙම ආරාමයේ වැඩසටහන් කිහිපයක්‌ කරනවා. සතියේ දිනවල අපි භාවනා යෝගීව මෙම ස්‌ථානයේ වැඩ ඉන්නවා. ධර්ම දේශනා හා කර්මස්‌ථාන භාවනා සිදුකරනවා යෑයි අතුරුගිරියේ ධම්ම සුතා මෙහෙණින් වහන්සේ පැවසුහ.
හිටපු අමාත්‍යවරයකු වූ අමරසිරි දොඩංගොඩ මහතාගේ නැගණියක්‌ වන මාලනි දොඩංගොඩ මහත්මිය විසින් තමන් සතු නිවස මෙම ආරාමය සඳහා පරිත්‍යාග කොට ඇත.

No comments:

Post a Comment

Reckoon's Blockchain & AI Enabled Solution is Shaping the Future of the Retail Industry

Bitcoin Press Release: UK-based Reckoon announces details of their blockchain & AI-enabled, “global shopping platform as a ...